මෙය බොහෝ දුරට Windows desktop හා සමානකමක් දක්වන නමුත් අමතර කාර්යයන් කිහිපයක් Mint Desktop හරහා සිදු කල හැකියි. ඒ සඳහා ආදාළ විධානයන් desktop එක මත හිස් ස්ථානයක right click කිරීමෙන් දර්ශනය වේ. පහත දැක්වෙන්නේ එම මෙනුවෙහි රූප සටහනකි.
මෙනුවෙහි දැක්වෙන බොහෝ දේ පහසුවෙන් තේරුම් ගත හැකි අතර අමතර විධානයන් පිලිබඳ වැඩිදුර සොයා බලමු.
- Add Desklets
අපට නිතර දර්ශණය සහ ප්‍රවේශනය කර ගැනීමට අවශ්‍ය මෘදුකාංග/කාර්යයන් ඉතා පහසුවෙන් desklet ලෙස රඳවා තැබීමට පුළුවන්. උදාහරණයක් ලෙස ගණක යන්ත්‍රය (calculator) නිතර අවශ්‍ය වේ නම් මෙනුවෙන් අදාළ මෘදුකාංගය ප්‍රවේශණය කිරීමට වඩා calculator desklet එක යොදා ගැනීම ඉතා පහසු ය. Add desklet මත click කල විට Desklet window දිස්වේ. එහි දැනට ස්ථාපනය(install) කර ඇති සහ අන්තර්ජාලය හරහා ලබාගත හැකි (available) අමතර desklets ලැයිස්තුවක් පෙන්වයි. දැනටමත් ස්ථාපනය කර ඇති desklet එකක් desktop එකට එකතු කිරීමට Installed desklets පිටුවෙහි ඇති desklet එකක් මත right click කර Add to desktop තේරීම හෝ පහතින් ඇති Add to desktop බොත්තම එබීම කල හැකිය. මෙම පිටුවෙහි දැනට desktop එකේ දිස්වන desklet එකක් මත right click කිරීමෙන් එය ඉවත් කිරීමට Remove from desktop විධානය ලබා දිය හැකිය. අන්තර්ජාලය හරහා අලුතින් desklet ලබා ගැනීමට Available desklets (online) පිටුවෙහි desklet එකක් මත right click කර Mark for installation තේරීමෙන් හෝ වම්පසින් ඇති කොටුව (checkbox) තේරීමෙන් පසු Install or update selected items බොත්තම ඔබන්න. General settings පිටුවෙහි desklet වලට අදාළ සාමාන්‍ය සැකසුම් කිහිපයක් දැක්වේ.


Desktop එකෙහි දර්ශණය වන desklet එකක් මත right click කල විට කුඩා මෙනුවක් දිස්වන අතර එමගින් සැකසුම් සිදු කිරීම සහ desklet එක ඉවත් කිරීම කල හැකිය.

- Create a new launcher here…
Linux මෙහෙයුම් පද්ධතිය තුළ භාවිතා කල හැකි විධානයන් (commands) සහ මෘදුකාංග ප්‍රවේශණය සඳහා shortcuts මෙමගින් නිර්මාණය කල හැකිය. මෙහි සුවිශේෂත්වය වන්නේ Mint Menu තුළ දිස් නොවන බොහෝ විධානයන්ට පහසුවෙන් ලඟා වීමට ප්‍රයෝජනවත් වන නිසයි. මේ හරහා නිර්මාණය කරගන්නා shortcuts, මෙනුවට ද එක් කල හැකිය. පහත දැක්වෙන්නේ Create a new launcher here… මගින් shortcuts නිර්මාණයේ දී අදාළ සැකසුම් දැක්වෙන රූප සටහනකි. එහි අවශ්‍ය තොරතුරු ඇතුළත් කිරීමෙන් පසු OK බොත්තම ඔබා තහවුරු කරන්න.
එවිට Mint මෙනුවට මෙම shortcut එක එකතු කල යුතුදැයි විමසන පණිවිඩයක් දිස්වේ. ඉන් අවශ්‍ය තේරීම කල හැකිය.

- Open in terminal
පරිගණකයේ යතුරු පුවරුව පමණක් භාවිතා කරමින් අදාළ විධාන ලබා දීම සහ හැසිරවීම සඳහා terminal (අග්‍රය) window යොදා ගනී. Open in terminal තේරූ පසු desktop එකට අදාළ ගොණු කවරය (folder) පිහිටි ස්ථානයට සාපේක්ෂව terminal window එක විවෘත වේ. (Terminal භාවිතය ඉදිරි ලිපියකදී සාකච්චා කරමු.)

- Open as Root
Desktop folder එකට අදාළ ව උසස් සැකසුම් සිදු කිරීමට Open as root යොදාගත හැකිය. එහිදී Linux හි පරිපාලක ගිණුම (administrator account) වන root හි මුර පදය (password) ලබාදීම අවශ්‍ය වේ. (සාමාන්‍යයෙන් Mint ස්ථාපනයේදී අප මුළින් ම නිර්මාණය කරන පරිශීලක ගිණුම administrator account එකක් ලෙස හදුනා ගැනේ.)

එවිට පහත පරිදි ගොණු ගවේශකය (file explorer) දර්ශණය වන අතර එහි ඉහළින් රතු පැහයෙන් උසස් සැකසුම් සිදු කල හැකි බව දක්වන පණිවිඩයක් දිස්වේ. File explorer තුළ right click කිරීමෙන් උසස් සැකසුම් වෙත පිවිසිය හැකිය.

මෙම ලිපියත් සමගින් Linux Mint පිලිබඳ මුලික හැඳින්වීමේ ලිපි පෙළ අවසන් වේ. ඉදිරි ලිපි වලින් Linux Mint වලට අදාළ විවිධ කරුණු එක් එක් මාතෘකා යටතේ සාකච්චා කිරීමට බලාපොරොත්තු වෙමි.