Windows මෙහෙයුම් පද්ධතිය තුළ මෘදුකාංග ස්ථාපනය කිරීමේ සාමාන්‍ය ක්‍රමය වන්නේ මෘදුකාංග CD/DVD භාවිතා කිරීම හෝ වෙබ් අඩවියකට ගොස් භාගත කල exe/setup file එකක් යොදා ගැනීමයි. මේ කවර ආකාරයකින් වුව ද අප ලබාගන්නා මෘදුකාංග වල වෛරස අඩංගු නොවන බවට 100% ම තහවුරු කරගැනීම අවශ්‍ය වේ. Windows තුළ ප්‍රති-වෛරස (anti-virus) මෘදුකාංගයක් පිහිටුවා තිබීම අත්‍යවශ්‍ය වන්නේ මෙම හේතුව නිසා ය.
වඩාත් ආරක්ෂිත මෙහෙයුම් පද්ධතියක් වන Linux තුළ මෘදුකාංග ස්ථාපනය ද ආරක්ෂිත ලෙස සිදු කළ හැකිය. ඒ සඳහා anti-virus එකක් පිහිටුවා තිබීම කිසිසේත් ම අවශ්‍ය නොවේ. තව ද CD/DVD තුළ Linux තුළ පිහිටුවිය හැකි මෘදුකාංග බොහෝ විට අඩංගු නොවන අතර වෙබ් අඩවි හරහා මෘදුකාංග download කරගැනීමට ද Linux මෙහෙයුම් පද්ධතිය නිර්දේශ නොකරයි. එසේනම් වඩාත් විශ්වසනීය ලෙස Linux තුළ මෘදුකාංග ස්ථාපනය කරන්නේ කෙසේ ද?
Linux Software Registry (මෘදුකාංග ලියාපදිංචිය)
Linux යනු විවෘත කේත (opensource) මෙහෙයුම් පද්ධතියක් ලෙස පෙර ලිපියකදී හඳුන්වා දී ඇත. මේ නිසා Linux හි ධාවනය වන මෘදුකාංග ද විශාල ප්‍රමාණයක් opensource ව්‍යාපෘති (projects) ලෙස නිර්මාණය වී ඇත. Linux නිකුතු (distros) නිර්මාණය කරන විවිධ පුද්ගලයින්/ආයතන මෙම ව්‍යාපෘති සමග ඉතා සහයෝගයෙන් ක්‍රියාත්මක වන අතර මෘදුකාංග වල විශ්වසනීය බව තහවුරු කර ගැනීමෙන් පසු එම පුද්ගලයින්/ආයතන මගින් අදාළ මෘදුකාංගය ලියාපදිංචිය (software register) කර ගැනීමක් සිදුවේ. මෙය සම්පුර්ණයෙන් ම නොමිළේ සිදුවන අතර ලියාපදිංචිය සිදු කිරීමේදී මෘදුකාංග මගින් මෙහෙයුම් පද්ධතියට හානියක් සිදු නොවන බව 100% ම තහවුරු වී තිබීම අනිවාර්ය අවශ්‍යතාවයකි. මෙසේ ලියාපදිංචි මෘදුකාංග ලබා ගැනීමේ හැකියාව බොහෝ Linux නිකුතු වල මෙහෙයුම් පද්ධතිය හරහා ම ලබා දී ඇත. එමගින් විවිධ වෙබ් අඩවි වලට ගොස් මෘදුකාංග download කිරීම අවශ්‍යතාව අවම මට්ටමක පවත්වා ඇත.
Linux මෘදුකාංග භාවිතය
Linux යනු සම්පුර්ණයෙන් ම Windows වලට සමාන ලෙස නිර්මාණය කර ඇති මෙහෙයුම් පද්ධතියක් නොවන නිසා Windows තුළ ධාවනය වන බොහෝ මෘදුකාංග Linux හි භාවිතා කල නොහැකිය. එනමුත් එම මෘදුකාංග වලට සමාන ලෙස භාවිතා කළ හැකි විකල්ප මෘදුකාංග අති විශාල ප්‍රමාණයක් opensource ව්‍යාපෘති ලෙස නිර්මාණය කර ඇත. ඒවා නොමිලේ ම ලබාගත හැකි අතර Windows හි භාවිතා වන මෘදුකාංගයට වඩා ස්ථාවර (stable), කාර්යක්ෂම (performance) සහ විශේෂාංග (features) වලින් යුක්තය.
සැ.යු.: ඔබේ ප්‍රියතම Windows මෘදුකාංගයට විකල්පයක් opensource මෘදුකාංග අතර නොමැති නම් හෝ ඒවා යොදාගැනීමට අකමැති නම් Windows මෘදුකාංග විශේෂිත ආකාරයකට Linux තුළ ද ධාවනය (run) කිරීමේ පහසුකම පවතී. මෙහිදී අදාළ මෘදුකාංගයේ කාර්යක්ෂමතාවයේ අඩුවක් තිබීමට පුළුවන.
සෑම විටම ඔබේ Linux නිකුතුව මගින් ලබාදෙන මෘදුකාංග පිහිටුවීමේ පහසුකම භාවිතා කිරීමෙන් Linux හි ස්ථාවර (stability) බව සහ ආරක්ෂාව (security) හොඳින් පවත්වා ගත හැකිය.