අප පසුගිය ලිපියෙන් සාකච්චා කල පරිදි බොහෝ Linux distros මගින් software registry එකක් භාවිතා කර ආරක්ෂාකාරී ලෙස මෘදුකාංග ස්ථාපනය කිරීමේ හැකියාව පරිශීලකයන්ට ලබා දී තිබෙනවා. Linux Mint මෙහෙයුම් පද්ධතියෙහි මෙම පහසුකම Software Manager (මෘදුකාංග කලමණාකරු) ලෙස හඳුන්වනු ලබනවා. Software Manager දියත් කිරීම සඳහා මෙනුවෙහි Favorites තුළ අදාළ icon මත click කිරීම (1) හෝ Categories තුළින් Administration ලැයිස්තුවෙහි Software Manager තේරීම (2) කළ හැකිය.

සැ.යු.: Software Manager හරහා මෘදුකාංග ස්ථාපනයට අන්තර්ජාල සබඳතාව (Internet connection) තිබීම අත්‍යාවශ්‍ය වේ. තව ද Linux මෙහෙයුම් පද්ධතිය මගින් සාමාන්‍ය පරිශීලකයන්ට මෘදුකාංග පිහිටුවීමේ අවසරය ලබා නොදෙන බැවින් Software Manager දියත් කිරීමේදී root හි මුරපදය (password) ලබාදිය යුතුවේ.

Software Manager හරහා මෘදුකාංග ස්ථාපනය
Software Manager හි මෘදුකාංග ඒවායේ භාවිතාව අනුව වර්ගීකරණය කර දැක්වේ. උදාහරණයක් ලෙස කාර්යාලිය කටයුතු සඳහා යොදාගන්නා මෘදුකාංග ලැයිස්තුවක් Office category යටතේ දැකිය හැක. මෙහි දකුණු පස ඉහළ කෙලවරේ Search කොටුව තුළ මෘදුකාංගයේ නම හෝ එහි මුල් අකුරු කිහිපය ඇතුළත් කර enter කිරීමෙන් ඊට සමාන මෘදුකාංග ලැයිස්තුවක් දැක්වේ. ඉන් අදාළ මෘදුකාංගය double click කර එය install කිරීමේ පිටුවට පිවිසිය හැකිය. කිසියම් category එකක් මත click කල විට ඒ යටතේ ගොණු කර ඇති මෘදුකාංග ලැයිස්තුවක් දැක්වේ. මෙමගින් ද අදාළ මෘදුකාංගය double click කර එය install කිරීමේ පිටුවට පිවිසිය හැකිය.




කෙසේ වෙතත් Windows හි ධාවනය වන මෘදුකාංග වලට අදාළ ව Linux මෙහෙයුම් පද්ධතියේ භාවිතා වන විකල්ප මෘදුකාංග පිලිබඳ අවබෝධයක් නොමැති ව Software Manager හරහා මෘදුකාංග ස්ථාපනය අසීරු ය. එනිසා මීළඟ ලිපියෙන් එම විකල්ප මෘදුකාංග වල ලැයිස්තුවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.