15 – Linux ගොණු පද්ධතිය (File system) (1 කොටස)

ඕනෑම මෙහෙයුම් පද්ධතියක file system යනු ඉතා වැදගත් අංගයකි. එමගින් ආචයන මාධ්‍යයක (storage media) දත්ත ගබඩා කිරීම සහ ඒවා නැවත ලබා ගැනීමේ කාර්යය පරිපාලනය සිදු කරයි. File system එක මෙහෙයුම් පද්ධතියේ ස්ථාවරත්වය (stability) සහ ආරක්ෂාකාරී (security) බවට ඍජු ලෙස බලපානු ලබයි. Linux පදනම් වී ඇති, Unix මෙහෙයුම් පද්ධතිය නිර්මාණය වූ අතීතයේ දී ස්ථාවර විදුලි සැපයුමක් ලබා ගැනීම අපහසු වූ අතර පරිගණකයේ දෝශ නිසා නිතර ම බිඳ වැටීම් සිදු විය. තව ද Unix OS එක පරිශීලකයන් කිහිප දෙනෙක් අතර එකවර හවුලේ භාවිතා කිරීමේ අරමුණ ඇති ව නිර්මාණය කරන ලදී. මෙවැනි කරුණු සැලකිල්ලට ගෙන Unix/Linux ගොණු පද්ධතිය නිර්මාණය වී ඇති නිසා වඩා ස්ථාවර හා ආරක්ෂාකාරී ලෙස Linux file system භාවිතා කල හැකිය. මෙය ඔබට හුරු පුරුදු Windows මෙහෙයුම් පද්ධතියේ file system සමග සැසදීමේදී විශාල ලෙස වෙනස්කම් දැක ගැනීමට පිළිවන. අප ඒවා එකින් එක ගෙන සලකා බලමු.

ගොණු පද්ධති මාදිලි (file system types) වෙනස

දෘඩ තැටියේ (hard disk) දත්ත ගබඩා කිරීම සඳහා Windows OS මගින් භාවිතා කරනු ලබන්නේ FAT16/FAT32 හෝ NTFS ගොණු මාදිලි ය.  Linux යනු Unix මත පදනම් වූ මෙහෙයුම් පද්ධතියක් නිසා එය Unix වලට ආවේනික සියලු ගොණු පද්ධති මාදිලි සඳහා අනුකුලතාවයක් දක්වයි. වර්තමානයේ Linux OS තුළ බොහෝ දුරට භාවිතා වන්නේ ext4 නම් ගොණු පද්ධති මාදිලියයි. මෙය ඉතා කාර්යක්‍ෂම සහ ආරක්ෂාකාරී ගොණු පද්ධතියකි. තව ද Unix හි පැරණි ගොණු පද්ධති වන ext, ext2 සහ ext3 ද Linux තුළ භාවිතා කල හැකිය. මීට අමතර ව සුවිශේෂ හැකියාවක් Linux මෙහෙයුම් පද්ධතිය සතුව ඇත. එනම් Windows සියලු ම ගොණු පද්ධති මාදිලි (file system types) Linux තුළ ද භාවිතා කිරීමට OS තුලින් ම පහසුව සලසා දී තිබීමයි. මේ නිසා Windows පරිගණකයක Linux install කිරීමෙන් පසු Windows partitions (බෙදුම්) තුළ ඇති සාමාන්‍ය ගොණු (general files)* කිසිදු අපහසුවකින් තොර ව Linux හරහා භාවිතා කල හැකිය. කෙසේ වෙතත් Windows ගොණු පද්ධති Linux තුළ ක්‍රියාත්මක වන්නේ ආගන්තුක ගොණු පද්ධති ලෙසිනි. එනිසා සුවිශේෂ ක්‍රමයකට අදාළ Windows ගොණු පද්ධති Linux OS එකට හඳුන්වා දීම අවශ්‍ය වේ. මෙම ක්‍රියාවලිය Linux තුළ ගොණු පද්ධතිය නැංවීම (mount) ලෙස හදුන්වයි. අතීතයේදී මෙය පරිශීලකයා විසින් ම කල යුතු වූ අතර වර්තමානයේදී රූපක අතුරු මුහුණතක් (GUI) සහිත Linux OS එකක ඔබ Windows partitions මත click කල විට නැංවීමේ කාර්යය ස්වයංක්‍රියව සිදුවේ.

* මෙහි සාමාන්‍ය ගොණු ලෙස සැලකෙන්නේ Windows මගින් නිර්මාණය කරන පද්ධති ගොණු (system files) සහ මෘදුකාංග ධාවක ගොණු (exe files) හැර ශ්‍රව්‍ය/දෘශ්‍ය (audio/video), රූපක (image), පෙළ (text) වැනි මෙහෙයුම් පද්ධතියෙන් ස්වායත්ත වූ ගොණු වර්ගයි.

මෙහෙයුම් පද්ධතිය තුළ සියල්ල ගොණු (files) ලෙස සැලකීම

Windows භාවිතා කර ඇති ඔබට මෙය නුහුරු වන්නට පුළුවන්. ඒ Windows තුළ දී පරිගණක දෘඩාංග (hardware) සාමාන්‍ය ගොණු වලින් වෙනස් වූ devices (උපාංග) ලෙස සැලකෙන නිසයි. නමුත් Linux OS එක මගින් hardware පවා හඳුනා ගනු ලබන්නේ තවත් ගොණුවක් (file) ලෙසිනි. උදාහරණ ලෙස ඔබගේ පරිගණකයේ hard disk එක සහ CD/DVD ROM එක Linux තුළ ගොණු ලෙස දැකිය හැකියි. එමගින් ගොණු කළමනාකරණය වඩාත් පහසු වන අතර විවිධ වර්ගයේ දෘඩාංග වලට මනා ලෙස හැඩගැසීමේ හැකියාව ලැබී ඇත.

ධාවක සඳහා අක්ෂර (Drive letters)  යොදා නොගැනීම

ඉහත සඳහන් කළ පරිදි Linux තුළ දී hard disk පවා ගොණු ලෙස හදුනා ගන්නා නිසා Windows මෙන් එක් එක් partitions අක්ෂර මගින් වෙන්කර දැක්වීමක් සිදු නොවේ. තවද Windows මෙහෙයුම් පද්ධතිය මගින් partition වලට වෙන වෙනම ගොණු පද්ධති ධුරාවලින් (file system hierarchy) නිර්මාණය කර ගන්නා නමුත් Linux තුළ දැකගත හැකිවන්නේ එකම ගොණු පද්ධති ධුරාවලියක් (hierarchy) පමණි. එම hierarchy එකෙහි උඩින් ම පිහිටා ඇත්තේ මූලය (root) වන අතර අන් සියලු ම ගොණු සහ නාමාවලි (directories), hierarchy එකේ නියමිත ස්ථානයකට (proper place) පමණක් සම්බන්ධ වේ. එය ගසක අතු බෙදෙන ආකාරයට ඉතා ක්‍රමානුකුල ව සකස් වී ඇත. මෙසේ වඩාත් සංවිදිත (organized) ලෙස Linux ගොණු පද්ධතිය නිර්මාණයට බලපෑ හේතු වන්නේ එය ආරම්භයේ සිටම ජාලගත බහු පරිශීලක මෙහෙයුම් පද්ධතියක් ලෙස භාවිතා කිරීමේ අවශ්‍යතාවක් පැන නැගී තිබීම සහ පරිශීලකයන් බොහෝ දෙනෙකු සිටින විට ගොණු වල ආරක්‍ෂාව තිර කිරීම වැදගත් වීමයි.

අක්ෂර වල Case Sensitive අදාළත්වය

මෙය Windows හි හැසිරීමට හාත්පසින් ම විරුද්ධ වන අතර Unix මගින් Linux මෙහෙයුම් පද්ධතියට උරුම වූ ලක්ෂණයකි. උදාහරණක් ලෙස File1.txt, FILE1.txt සහ FILE1.TXT යන ගොණු සියල්ල ම Windows තුළ එකම ගොණු නාමයක් ලෙස සැලකෙන නිසා එම ගොණු එකම ගොණු කවරයක් (file folder) තුළ රැඳවිය නොහැකිය. නමුත් Linux මගින් ඉහත ගොණු තුන වෙනස් ලෙස හඳුනා ගන්නා අතර ඒවා එකම ස්ථානයක රඳවා තැබිය හැක. (රුපය බලන්න.)

case_sensitivity
Filename Case Sensitivity

මීළඟ ලිපියෙන් Linux ගොණු පද්ධති ධුරාවලිය (file system hierarchy) පිලිබඳ සොයා බලමු.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )