Linux මෙහෙයුම් පද්ධතියේ කාර්යක්ෂමතාවය සහ ආරක්ෂාකාරී බව සඳහා එහි ගොණු පද්ධති ධුරාවලිය (file system hierarchy) ඉතා වැදගත් වේ. පහත දැක්වෙන්නේ Linux file system hierarchy එක සැකසී ඇති ආකාරය දැක්වෙන රූප සටහනකි. පසුගිය ලිපියෙන් සාකච්චා කල පරිදි මෙය Windows OS එකට වඩා හාත්පසින් ම වෙනස් සැකසුමකි. එහි සියලු ම ගොණු කවර (directories/folders in Windows) ගොණු භාවිතයට (file usage) අනුව නිර්මාණය කර ඇත. එමගින් ගොණු කළමනාකරණය පහසු වන අතර අනවශ්‍ය ලෙස විවිධ පරිශීලකයන් ට ගොණු පද්ධතියේ වැදගත් ගොණු වලට ප්‍රවේශ වීමේ අවස්ථාව සීමාවේ. මෙය මෙහෙයුම් පද්ධතියේ ආරක්ෂාව කෙරෙහි ඍජු ලෙස බලපායි. තවද ජාලගත මෙහෙයුම් පද්ධතියක් ලෙස Linux හි ක්‍රමානුකුල ගොණු ධුරාවලියක් තිබීමෙන් පරිශීලකයන් කළමනාකරණය (user management) සරළ ව පුද්ගලිකත්වය (privacy) රැකෙන ලෙස සිදු කල හැකිය. මෙහිදී එක් එක් පරිශීලකයන් ට අනෙක් පරිශීලකයන්ගේ ගොණු ප්‍රවේශනය (file access) කිරීමේදී සිමාවන් පැනවෙන අතර අවශ්‍ය නම් ගොණු ප්‍රවේශනය සම්පුර්ණයෙන් වැළක්විය හැකිය.

දැන් අපි මෙම ධුරාවලියෙහි එක් එක් ගොණු කවර (directory) පිලිබඳ වැඩිදුර තොරතුරු සොයා බලමු.
/ (මූලය – root)
ඉහත රූප සටහන අධ්‍යයනය කල විට එය යටිකුරු කල ගසක් මෙන් මූලයෙන් පටන් ගෙන අතු විහිදී යන ආකාරයට නිර්මාණය වී ඇති බව දැකිය හැකියි. මෙහි මූලය – root දැක්වෙන්නේ / ලෙසයි. අනෙක් සියලු ම ගොණු කවර / යටතේ දැක්වෙන අතර කිසිම ගොණුවක් directory එකකින් භාහිර ව නොපවතී. / වෙත පිවිසීම සඳහා අවසර ඇත්තේ පරිපාලක ගිණුමට (administrator account) පමණක් වන අතර Linux හි එය හඳුන්වන්නේ root (user) නමිනි.
/bin
Windows පරිසරයේදී exe යනුවෙන් හඳුන්වන ගොණු ධාවනය/ක්‍රියාත්මක කල හැකි බව ඔබ දන්නවා ඇති. Linux හි ඊට සමාන ලෙස නිර්මාණය කර ඇති ගොණු binary (බයිනරි) files ලෙස හඳුන්වයි. මෙම directory හි අන්තර්ගත වන්නේ එවැනි binary files වන අතර තනි-පරිශීලක ක්‍රමය (single-user mode) යටතේ මෙහි ඇති ගොණු ක්‍රියාත්මක කල හැකිය. තවද මෙහි ඇති ගොණු වලට පිවිසීමේ හැකියාව සියලු ම පරිශීලකයන්ට ලබා දී ඇත.
/sbin
මෙහි ද binary files අන්තර්ගත වන නමුත් ඒවා ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇත්තේ root user ට පමණි. Linux මෙහෙයුම් පද්ධතියේ විවිධ නඩත්තු කටයුතු සඳහා යොදා ගන්නා ක්‍රමලේඛ (programs) මේ යටතේ දැක්වේ.
/etc
ක්‍රමලේඛ වලට අදාළ විවිධ වින්‍යාස (configurations) ගොණු මෙම directory තුළ අඩංගු වේ. Linux මෙහෙයුම් පද්ධතිය පණගැන්වීමේදී (boot/startup) සහ වසා දැමීමේදී (shutdown) ක්‍රියාත්මක වන scripts ලෙස හැඳින්වෙන විශේෂිත ගොණු ද මෙතුළ දැකගත හැකිය.
සටහන: Windows මෙහෙයුම් පද්ධතිය තුළ ක්‍රමලේඛ වලට අදාළ වින්‍යාස බොහෝ දුරට ගබඩා කරන්නේ Windows Registry නම් දත්ත සමුදායක් (database) තුලයි.
/dev
පරිගණකයට සම්බන්ධ කර ඇති සියලු ම දෘඩාංග මෙහි ගොණුවක් ලෙස දැක්වේ. මෙය Linux/Unix මෙහෙයුම් පද්ධතියට සුවිශේෂ ලක්ෂණයකි.
/proc
පරිගණකයේ ධාවනය වන ක්‍රමලේඛයක් මෙහෙයුම් පද්ධතිය මගින් හඳුනා ගනු ලබන්නේ ක්‍රියාවලියක් (process) ලෙසිනි. මේවා ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට වෙන් කළ හැකිය. එනම් පරිශීලක ක්‍රියාවලීන් (user processes) සහ පද්ධති ක්‍රියාවලීන් (system processes) ලෙසිනි. මින් system processes වලට අදාළ තොරතුරු මෙම directory තුළ දැකගත හැකිය.
/var
කාලයත් සමගින් ස්වයංක්‍රියව ප්‍රමාණය වර්ධනය වන ගොණු මෙහි අන්තර්ගත වේ. බොහෝ දුරට සේවාදායක පරිගණක ලෙස භාවිතා වන Linux පද්ධති වල log files ලියැවෙන්නේ මෙතුළයි.
/tmp
Linux මෙහෙයුම් පද්ධතිය සහ සහ පරිශීලක ක්‍රියාවලි (processes) නිසා නිර්මාණය වන තාවකාලික ගොණු ගබඩා වන්නේ මෙම directory එකෙහිය. මෙහි නිර්මාණය වන සියලු ම ගොණු මෙහෙයුම් පද්ධතිය ප්‍රති-පණගැන්විමේදී මැකී යයි.
/usr
මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන සෑම පරිශිලකයකුට ම අවශ්‍ය වන ක්‍රමලේඛ මෙම directory එකෙහි අන්තර්ගත වේ.
/home
මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන සියලු ම සාමාන්‍ය පරිශීලකයන්ගේ පුද්ගලික ගොණු ගබඩා කිරීමට අවශ්‍ය ගොණු කවරයක් අදාළ පරිශීලක නාමය (user name) සහිත ව මෙහි නිර්මාණය වේ. සාමාන්‍යයෙන් වෙනත් පරිශීලකයන්ගේ ගොණු වලට පිවිසීමේ හැකියාවක් මෙහෙයුම් පද්ධතිය මගින් ලබා දී නැත.
/boot
මෙහෙයුම් පද්ධති ගොණුව අඩංගු වන්නේ මේ directory එක තුලයි. Linux kernel සහ ඇරඹුම් විධාන ද මෙතුල දැකගත හැකිය.
/lib
වෙනත් ක්‍රමලේඛ සහ මෘදුකාංග වලට ආධාර වන library files මෙහි අන්තර්ගත වේ.
/opt
Linux මෙහෙයුම් පද්ධතිය පිහිටුවීමේදී ස්ථාපනය නොවන තෙවන පාර්ශවීය මෘදුකාංග ස්ථාපනය වන්නේ මෙම directory එක තුළයි.
/mnt
පද්ධති පරිපාලක (system administrator) මගින් තාවකාලිකව වෙනත් ගොණු පද්ධති නැංවීම (mount) සඳහා මෙම directory එක යොදා ගනී.
/media
පරිශීලකයාගේ අවශ්‍යතාවය පරිදි ඉවත් කළ හැකි උපාංග තාවකාලිකව mount කිරීම සිදු වන්නේ මෙම directory එක තුළටයි.
/srv
සේවාදායක පරිගණක පද්ධති වල සේවාවන්ට අදාළ දත්ත ගබඩා වන්නේ මෙම directory එකෙහිය.
අද අප සාකච්චා කරන ලද Linux file system hierarchy එකේ විවිධ ගොණු කවර භාවිතා වන ආකාරය සවිස්තරාත්මක ලෙස ඉදිරි ලිපි වලදී හදාරමු.