16 – Linux විධාන පෙළ (command line) (1 කොටස)

රූපක අතුරු මුහුණත් (Graphical User Interfaces-GUI) ප්‍රචලිත වී ඇති වර්තමානයේ බොහෝ විට පරිගණකය හැසිරවීම සඳහා මූසිකය (mouse ) යොදා ගනී. ඔබට වඩාත් හුරු පුරුදු Windows මෙහෙයුම් පද්ධතියේ සියලු කාර්යයන් සඳහා mouse නැතිව ම බැරි උපාංගයකි. Linux මෙහෙයුම් පද්ධතිය ද GUI පරිසරය  තුළ දී mouse යොදා ගන්නා නමුත් යතුරු පුවරුව (keyboard) භාවිතයෙන් වඩා කාර්යක්‍ෂම ලෙස කාර්යයන් ඉටු කරගත හැකිය. මෙහිදී keyboard හරහා මෙහෙයුම් පද්ධතියට විධාන (commands) ලබා දීමෙන් විවිධ කාර්යයන් ක්‍රියාත්මක (execute) කල හැකිය.  මෙසේ keyboard හරහා commands ලබාදීමේ පහසුව සලසන උපක්‍රමය command line ලෙස හැඳින්වෙයි. ප්‍රථමයෙන් ම command line යොදා ගැනීමේ ඇති වාසි මොනවාදැයි සොයා බලමු.

සැ.යු.: Keyboard හරහා විධාන ලබාදීම සහ keyboard භාවිතා කර පරිගණකය හැසිරවීම පටලවා නොගත යුතුය. විධාන (commands) ලබාදීමෙන් කිසියම් නිශ්චිත කාර්යයක් ඉටු වන අතර keyboard මගින් පරිගණකය හැසිරවීමේදී කිසියම් මෘදුකාංගයකට අදාළ ව keyboard shortcuts (කෙටිමං) භාවිතා කිරීම සිදුවේ.

ප්‍රභලත්වය (powerful)

Linux මෙහෙයුම් පද්ධතිය අතීතයේ සිට ම keyboard භාවිතයෙන් commands ලබා දීමට නිර්මාණය කර ඇති බැවින් අති විශාල විධාන සංඛ්‍යාවක් අන්තර්ගතව තිබේ. සාමාන්‍ය පුද්ගල පරිගණකයේ (PC) සිට සේවාදායක (server) සහ මහා පරිමාණ (main-frame) පරිගණක දක්වා සියලු ම පරිගණක වල Linux මෙහෙයුම් පද්ධතිය භාවිතා කිරීමට හැකිවී ඇත්තේ commands මගින් ඒවායේ විවිධ කටයුතු ඉතා පහසුවෙන් සිදු කරගත හැකි නිසාය.

නම්‍යශීලිත්වය (flexibility)

Linux commands නිර්මාණය කර ඇත්තේ බොහෝ දුරට එකිනෙක හා අනුකුලතාවක් (compatible) දක්වන පරිදි සහ අන්‍යොන්‍ය ක්‍රියාකාරිත්වයට (interactive) ඉඩ සලසන පරිදි ය. මේ නිසා commands කිහිපයක් කිසිදු අපහසුවකින් තොරව එකවර ක්‍රියාත්මක කල හැකිය. තවද එක් විධානයක ප්‍රථිපලය (result) හෝ ප්‍රතිදානය (output) තවත් විධානයක ආදානය (input) ලෙස ලබා දීමට පිළිවන. මෙමගින් වඩාත් නම්‍යශීලි ලෙස අපගේ කාර්යයට හරියටම ගැළපෙන පරිදි commands යොදා ගැනීමේ පහසුව සැලසේ.

අඩු සම්පත් භාවිතය (less resource usage)

Linux command line සම්පුර්ණයෙන් ම පාඨ පදනම් (text based) කරගෙන නිර්මාණය කර ඇති බැවින් වඩා අඩු සම්පත් ප්‍රමාණයක් සහිත පරිගණක වලද අහපසුවකින් තොරව භාවිතා කල හැකිය. බොහෝ දුරට සේවාදායක (server) පරිගණක ඉලක්ක කරගෙන නිර්මාණය කරන Linux නිකුතු (distributions) වල සම්මත පිහිටුමක් ලෙස GUI ස්ථාපනය නොවේ. එමගින් වඩා මිළ අධික දෘඩාංග මිලදී ගෙන GUI ධාවනයට වැයවන මුදල අනෙකුත් උපාංග මිලදී ගැනීමට යොදා ගත හැකිය. ඇත්ත වශයෙන් ම Linux සේවාදායක (server) පරිගණක වල, GUI හරහා කල හැකි කාර්යයන් සියල්ල ම පාහේ Linux command line භාවිතයෙන් පහසුවෙන් ඉටු කරගත හැකිය.

යතුරු පුවරුව පදනම් වී තිබීම (keyboard based)

ඔබ යතුරු ලියනයට (typing) හුරුවී ඇත්නම් keyboard හරහා ආදාන (input) ලබාදීම mouse භාවිතයට වඩා ඉතා පහසු බව හැඟෙනු ඇති. Linux මෙහෙයුම් පද්ධතිය නිර්මාණය වූ අවධියේදී mouse උපාංගය නිර්මාණය වී නොතිබුණු බැවින් keyboard පදනම් කරගෙන ඉතා ඉක්මනින් commands ලබාදිය හැකි පරිදි command line සකස් කෙරී ඇත.

වේගවත් බව (Fast)

අඩු සම්පත් භාවිතය නිසා Linux commands වඩා ඉක්මනින් ක්‍රියාත්මක වේ. තවද GUI හි mouse මගින් විකල්ප සැකසුම් (options) සහ පරාමිතීන් (parameters) ලබාදෙමින් කාර්යයක් ක්‍රියාත්මක කිරීමට යම් කාලයක් ගතවන නමුත් command line හරහා options සහ parameters අදාළ විධානය (command) සමග ම යතුරු ලියනය (type) කල හැකිය. තවද විධාන කිහිපයක් (multiple commands) එකවර ක්‍රියාත්මක කල හැකි බැවින් අපගේ කාර්යය වඩාත් කාර්යක්‍ෂම ලෙස සිදු කරගත හැකිය.

මීට අමතරව තවත් බොහෝ වාසි Linux command line භාවිතය නිසා ලබාගත හැකිය. ඒවා සියල්ලම මෙහි සඳහන් කිරීම අපහසු නිසා වැඩ වැදගත් වන කරුණු කිහිපයක් පමණක් දක්වා ඇත. මීළඟ ලිපියෙන් Linux command line වෙත පිවිසෙන ආකාරය (access) සහ ඒ සඳහා උපකාරී වන මෘදුකාංග පිලිබඳ සොයා බලමු.

සටහන: Linux command line හා සමාන ව Windows මෙහෙයුම් පද්ධතියේ නිර්මාණය කර ඇති විධාන ලබාදීමේ ක්‍රමලේඛය MS-DOS (Microsoft Disk Operating System) ලෙස හඳුන්වයි. නමුත් Linux command line හා සැසඳීමේදී එය එතරම් ප්‍රභල හැකියාවන්ගෙන් යුක්ත නොවේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )