Shell යනු කුමක් ද?
පරිගණක යතුරු පුවරුව හරහා විධාන ලබාදීමට ඉඩ සලසන උපක්‍රමය වන command line හි අප විසින් type කරනු ලබන commands අර්ථ දැක්වීම (interpretation) සඳහා මෙහෙයුම් පද්ධතිය තුළ විශේෂ ක්‍රමලේඛයක් (program) ක්‍රියාත්මක වේ. එය shell ලෙස හඳුන්වනු ලබන අතර එමගින් අප ලබාදෙන commands, kernel (මධ්‍යය) වෙත යොමු කිරීම සිදුවේ. තවද commands නිවැරදි රීතියට (syntax) අනුව ලබාදී ඇත්දැයි තහවුරු කර ගැනීමද shell හි ප්‍රධාන කාර්යයකි. මීට අමතරව command line භාවිතය පහසු කරවන විවිධ උපකාරක ලබාදීම සහ command line පාරිසරකය තුළ නිතර අවශ්‍ය වන විචල්‍යයන් (variables) ගබඩා කර තැබීම ද shell මගින් සිදුවේ. විවිධ Linux නිකුතු (distros) මගින් විවිධ shell භාවිතා කරනු දැකිය හැකිය. එක් එක් shell ඒවාටම ආවේනික වූ හැකියාවන්ගෙන් යුක්ත වන අතර ක්‍රියාත්මක වීමේදී පරිගණකය සතු සම්පත් (resources) විවිධ ප්‍රමාණ වලින් පරිශීලනය වේ. කෙසේ වෙතත් බොහෝ Linux නිකුතු වල සම්මත ලෙස පිහිටුවා ඇත්තේ Bash shell යන්නයි. ඒ නිසා අපගේ පාඩම් මාලාවේදී Bash shell ගැන පමණක් දීර්ඝ ව සාකච්චා කෙරේ.
Terminal (අග්‍රය)
අප කලින් සඳහන් කල shell යන්න මෙහෙයුම් පද්ධතියේ පසුබිමින් ක්‍රියාත්මක වන ක්‍රමලේඛයකි (background process). මේ නිසා shell වෙත පිවිසීම සඳහා අපට අතුරුමුහුණතක් (interface) ලෙස තවත් මෘදුකාංගයක සේවය ලබා ගැනීමට සිදුවේ. අප terminal ලෙස හඳුන්වන්නේ එයයි. සාමාන්‍යයෙන් shell වෙත පිවිසීමේ පහසුව සලසන terminal මෘදුකාංග ද එකකට වඩා වැඩි ප්‍රමාණයක් නිර්මාණය වී ඇත. ඒවාද විවිධ අමතර හැකියාවන්ගෙන් යුක්ත ය. Linux තුළ GUI පරිසරයේදී මෙන් ම ඉන් බැහැරව ද terminal වෙත ලඟා විය හැකිය. මෙසේ terminal එකක් දියත් කල හැකි ආකාර තුනක් ඇත.
1) Linux desktop එක තුළම terminal ධාවනය කිරීම
මෙහිදී ප්‍රධාන වශයෙන් gnome-terminal හෝ konsole යන මෘදුකාංග භාවිතා කල හැකිය. Linux Mint හි gnome-terminal දියත් කිරීම සඳහා Mint මෙනුවේ (Menu) Favorites හි ඇති terminal මත click කරන්න.


2) අතථ්‍ය (virtual) terminal වෙත පිවිසීම
සාමාන්‍යයෙන් අප desktop හරහා terminal එකක් දියත් නොකලද පසුබිමින් terminal කිහිපයක් ධාවනය වේ. ඒවාට පිවිසීම සඳහා අපට desktop තිරයෙන් තාවකාලිව ඉවත් වීමට සිදුවේ. Linux Mint (හෝ Ubuntu) හි මෙම virtual terminals වෙත පිවිසීම සඳහා යතුරු පුවරුවේ [Ctrl] සහ [Alt] යතුරු තද කරගෙන සිටිද්දීම F1-F7 දක්වා ඇති ඕනෑම යතුරක් ඔබන්න. මෙහිදී ඔබ පරිශීලක නාමයක් (user-name) සහ මුරපදය (password) ලබාදිය යුතුය. නැවත desktop තිරය වෙත පිවිසීම සඳහා [Alt] සහ F8 යතුරු එකවර ඔබන්න.
3) Linux මෙහෙයුම් පද්ධතිය terminal mode (මාදිලිය) ලෙස ප්‍රවේශණය
මෙහිදී Linux පිවිසුම් තිරය (desktop) ප්‍රවේශණය නොවන පරිදි විශේෂ ක්‍රමයකට පරිගණකය පණ ගැන්වීම සිදුවේ. බොහෝ සේවාදායක පරිගණක මෙම ක්‍රමයට සකස් කර ඇති අතර අඩු සම්පත් ප්‍රමාණයක් සහිත පරිගණකයක වුව ද ඉතා හොඳින් ධාවනය කල හැකිය. තවද පරිගණකයේ කිසියම් දෝෂයක් නිසා desktop එක ප්‍රවේශණය නොවන අවස්ථාවක දෝෂය හඳුනාගෙන (troubleshooting) එය නිවැරදි කිරීම සඳහා ද මෙම ක්‍රමය ප්‍රයෝජනවත් වේ. මේ ආකාරයට Linux මෙහෙයුම් පද්ධතිය terminal mode ලෙස පණගැන්වීම සිදු කරන ආකාරය ඉදිරි ලිපියකින් විස්තර වනු ඇත.

මීළඟ ලිපියෙන් gnome-terminal පිලිබඳ වැඩි දුරට සොයා බලමු.