32 – පාඨ ගොණු සංස්කරණය (Text File Editing) (1 කොටස)

Linux මෙහෙයුම් පද්ධතියෙහි සියලු සැකසුම් (settings) පාඨ ගොණු (text files) තුළ පමණක් සුරැකීම (save) සිදුවේ. මේ නිසා (ගොණු අවසරය ලබාදී) ඕනෑම අයෙකුට පහසුවෙන් ඒවායේ අන්තර්ගතය බලාගැනීමට පිළිවන. කිසියම් සැකසුමක් වෙනස් කිරීම අදාළ text file(s) සංස්කරණය කිරීම මගින් ඉතා පහසුවෙන් කල හැකිය. වර්තමානයේ බොහෝ Linux මෙහෙයුම් පද්ධති මගින් රූපක අතුරු මුහුණත් (Graphical User Interface-GUI) හරහා විවිධ සැකසුම් සිදුකිරීමට ඉඩ ලබාදෙන නමුත් ඒවාට පාදක වන text files එලෙසම යොදාගැනේ. තවද බොහෝ සේවාදායක පරිගණක (Server computers) වල Linux මෙහෙයුම් පද්ධතිය සමග GUI පිහිටුවීමක් සිදු කරනු නොලැබේ. මේ නිසා text files මගින් සැකසුම් සිදු කිරීම වඩා වැදගත් වේ.

මෙසේ Linux මෙහෙයුම් පද්ධතිය මගින් text files වලට ප්‍රමුඛස්ථානයක් ලබාදී ඇති නිසා command line තුළද text files භාවිතය බහුල ව සිදු කෙරේ. Linux මෙහෙයුම් පද්ධතිය පාදක වී ඇති Unix තුළ මේ සඳහා පාඨ සංස්කරණ මෘදුකාංග (text editors) කිහිපයක්ම අතීතයේ සිට නිර්මාණය වී ඇති අතර එමගින් ඉතා ඉක්මනින් කාර්යයන් සිදු කිරීමට හැකිවන පරිදි විවිධ විශේෂාංග (features) වලින් යුක්තය. භාවිතයේ පහසුව සහ විශේෂාංග අනුව වඩා වැදගත් වන text editors තුනක් පිළිබඳව මෙම ලිපි පෙළෙන් සාකච්චා කෙරේ.

nano Editor

ඉතා සරල text editor එකක් වන මෙය ඉක්මනින් කුඩා text editing කාර්යයන් සිදු කිරීමට යොදාගත හැකිය. උදාහරණ ලෙස text file එකක පේළි/වචන කිහිපයක් වෙනස් කිරීම වැනි කාර්යයක් සඳහා මෙය ඉතා ගැළපේ. nano editor දියත් කිරීම සඳහා command line තුළ පහත පරිදි command ලබාදීම කල හැකිය. ([] මගින් දක්වා ඇත්තේ අවශ්‍ය නම් පමණක් ලබාදිය හැකි විකල්පයකි.)

nano [filename]

Command සමග filename ලබාදුන් විට nano editor ප්‍රවේශනය වූ පසු මාතෘකා තීරුවෙහි filename දැක්වේ. එසේ නැතහොත් New Buffer ලෙස දැක්වේ. මෙහිදී සාමාන්‍ය පරිදි type කරගෙනයාම කලහැකි අතර අමතර කාර්යයන් සිදුකිරීම විධාන (commands) ලබාදීම මගින් කල හැකිය. ඒ සඳහා යතුරු පුවරු කෙටිමං (keyboard shortcuts) යොදාගනී. මේ සියලු කෙටිමං editor එකේ පහළින් දක්වා ඇත. අප file තුළ කිසියම් වෙනස්කමක් සිදුකර ඇත්නම් මාතෘකා තීරුවෙහි දකුණු කෙළවරෙහි Modified ලෙස දැක්වේ. nano editor හි විවිධ කොටස් පහත රූපයෙහි දක්වා ඇත.

nano editor
nano editor

මීළඟට nano editor හි යොදාගන්නා text editing commands පිලිබඳ සොයා බලමු. එම commands ලබාදීම සඳහා keyboard shortcuts භාවිතා කරන අතර ඒවා යතුරු කිහිපයක සුසංයෝගයක් (combinations) ලෙස යොදාගැනීම සිදුවේ. ඉහත තිර දසුනෙහි (screen shot) දැක්වෙන අනුපිළිවෙළින් මේ එක් එක් commands මගින් සිදුකෙරෙන දෑ පහතින් විස්තර කෙරේ.  මෙහි ^ මගින් Ctrl key නිරුපණය වන අතර M (meta) මගින් Alt key දැක්වේ.

^G හෝ F1nano උපකාරක ලේඛනය (help document) දර්ශනය කරගත හැකිය. මෙහි වඩාත් විස්තර සහිතව සියලු කෙටිමං පිලිබඳ තොරතුරු දැක්වේ. ^G නැවත ලබාදුන්විට උපකාරකයෙන් ඉවත්වීම සිදුවේ.

^X හෝ F2nano editor එකෙන් ඉවත්වීමට යොදාගනී. මෙහිදී අප file එකට වෙනස්කම් සිදුකර ඇත්නම් ඒවා සුරැකිය යුතුද යන්න (save) විමසන අතර එයට ඔව්/නැත (Y/N) යන්න ලබාදීම හෝ විධානය අහෝසි කිරීම (^CCancel) කල හැකිය. (රූපය බලන්න.)

exit nano
exit nano

^O හෝ F3 – දැනට සංස්කරණය කරන ගොණුව සුරැකීම (save) සිදුවේ. මෙහිදී ගොණු නාමය (file name) විමසන අතර අවශ්‍ය නම් වෙනත් නමක් ලබාදිය හැකිය. නැතහොත් යතුරු පුවරුවේ එබීම ප්‍රමාණවත්ය. ඔබ nano editor දියත් කිරීමේදී filename ලබාදී නැත්නම් මෙහිදී එය ලබාදීමට පිළිවන.

^R හෝ F5 – File එකෙහි දැනට සංස්කරණය සිදු කරන ස්ථානයට (cursor position) වෙනත් ගොණුවක අන්තර්ගතය සම්පුර්ණයෙන් ඇතුළත් කිරීමට මෙම විධානය යොදාගනී. මෙහිදී ඇතුළත් කිරීමට අවශ්‍ය filename ලබාදිය යුතුය.

^W හෝ F6 – ගොණුව තුළ කිසියම් වචනයක් ඇති ස්ථානය සොයාගැනීමට යොදාගනී. දිගු ලේඛන භාවිතයේදී මෙය පහසුවකි.

^\ හෝ MR – කිසියම් වචනයක් වෙනුවට වෙනත් වචනයක් හිලවු කිරීම (replace) මෙයින් සිදුකල හැකිය. එහිදී සෙවිය යුතු වචනය සහ හිලවු වචනය ලබාදීමෙන් පසු ගොණුව තුළ සෙවූ වචනය ඇති සෑම තැනම හෝ තැන් කිහිපයක පමණක් වෙනස් කිරීමට ඉඩ ලැබේ.

^K හෝ F9 – කිසියම් පේළියක් සම්පුර්ණයෙන් ඡේදනය (cut) කිරීම සිදුවේ.

^U හෝ F10 – අවසානයට ඡේදනය කල (cut) පේළිය ගොණුව තුළට යළි පිටපත් කිරීම (paste) සිදුවේ. මෙය කිහිපවරක් වුවද කල හැකිය. (ඉහත තිරදසුනෙහි එකම පේළිය කිහිපවරක් පිටපත් කර ඇත.)

^J හෝ F4 – අකුරු පේළි දෙපසට සමබර කිරීම (Justify) සිදුවේ. මෙහිදී මතක තබාගත යුතු කරුණක් නම් terminal window එකෙහි ප්‍රමාණය මත පේළියකට යෙදෙන අකුරු ප්‍රමාණය වෙනස්වීමයි.

^T හෝ F12 – Command line තුළ ශබ්ද කෝෂයක් (dictionary) පිහිටුවා ඇත්නම් පමණක් අක්‍ෂර වින්‍යාසය (spell check) පරික්ෂා කිරීමට මෙය යොදාගත හැකිය.

^_ හෝ MG – අවශ්‍ය පේළියට cursor ගෙනයාමට යොදාගනී.

M] – වරහන් ඇතිවිට විවෘත වරහනට (open bracket) ගැළපෙන (match) සංවෘත වරහන (close bracket) වෙත යාමට මෙය යොදාගනී.

මෙහි දක්වන ලද්දේ nano editor හි නිතර භාවිතා වන commands කිහිපයක් පමණි. නමුත් nano හි හැකියාවන් විශාල ප්‍රමාණයක් ඇත. ඒවා පිලිබඳ සියලු තොරතුරු ඔබට nano උපකාරක ලේඛනය (^G හෝ F1) මගින් දැනගත හැකිය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )