විධාන ප්‍රේරකය (command prompt) පිලිබඳ මූලික හැඳින්වීමක් Linux Command Line (3 කොටස) පාඩම ආරම්භයේදී සිදුකල නිසා අද ඉන් ඔබ්බට ගොස් වැඩිමනත් තොරතුරු සොයා බලමු. සම්මත (default) ලෙස මෙහි දැක්වෙන තොරතුරු අල්ප වන නමුත් අපගේ මනාපය පරිදි මෙහෙයුම් පද්ධතිය (operating system) සහ shell පරිසරය සම්බන්ධ තොරතුරු විශාල ප්‍රමාණයක් අඩංගු කල හැකිය. Linux හි ඇති විවෘතභාවය (openness) නිසා මෙසේ පරිශීලකයාගේ (user) අවශ්‍යතාවය පරිදි command prompt වෙනස් කිරීමට හැකියාව ලැබී ඇත.
Command prompt දිස්විය යුතු ආකාරය සකස් වන්නේ shell පරිසරය තුළ ගබඩා කර ඇති විචල්‍යයක් (environmental variable) අනුවයි. එය PS1 (Prompt String 1) ලෙස හඳුන්වන අතර එහි අන්තර්ගතය බලා ගැනීමට echo $PS1 ලෙස ලබාදෙන්න. (Environmental variables පිලිබඳ වැඩිදුර තොරතුරු Shell පිළිබඳව වඩාත් ගැඹුරින් (3 කොටස) ලිපියේ පළවිය.)

සටහන: PS1 හි අන්තර්ගතය ඔබ භාවිතා කරන Linux නිකුතුව (distribution) අනුව වෙනස්විය හැකිය. රූපයේ දැක්වෙන්නේ Linux Mint හි $PS1 හි ප්‍රතිදානයයි (output).
තරමක් සංකීර්ණ ලෙස පෙනුනද prompt ගොඩනැගීමේ කාර්යය ඉතා සරලය. මෙහි \ සමග අක්ෂර කේත (character codes) මගින් විවිධ තොරතුරු නිරූපණය වන අතර ඉලක්කම් මගින් වර්ණ (colors) සංකලනයන් දැක්වේ. පහත වගුවෙහි දක්වා ඇත්තේ අක්ෂර කේත කිහිපයක් මගින් නිරූපණය වන තොරතුරු ය.
අක්ෂර කේතය | නිරූපිත අගය |
---|---|
\d | අද දිනය මාසයේ කවදාද? (උදා: Sat Jul 1) |
\H | සම්පූර්ණ පරිගණක නාමය (උදා: ruhuna) |
\s | භාවිතා වන shell එකෙහි නම (උදා: bash) |
\t | දැන් වේලාව පැය 24 ක්‍රමයට (උදා:13:37:11) |
\T | දැන් වේලාව පැය 12 ඔරලෝසුවෙන් (උදා: 01:37:11) |
\@ | දැන් වේලාව පැය 12 ඔරලෝසුවෙන් පෙ.ව/ප.ව සමගින් |
\A | දැන් වේලාව පැය 24 ක්‍රමයට (උදා:13:37) |
\u | පරිශීලක නාමය (උදා: indikau) |
\w | දැනට සිටින නාමාවලිය (directory) සම්පූර්ණ පෙත (full path) සමග (උදා: /home/test) |
\W | දැනට සිටින නාමාවලියේ අවසාන කොටස (උදා: test) |
\$ | පරිපාලන ගිණුමෙන් (root ලෙස) ඇතුල්වී සිටීද නැද්ද යන්න (උදා: $ හෝ #) |
\[ \] | විශේෂ කේත ආරම්භය සහ අවසානය සටහන් කිරීම (වර්ණ කේත මෙතුළ දැක්වනු ලැබේ.) |
ඉහත දැක්වෙන අගයන් සමග ප්‍රයෝගික හැදෑරීමක් කිරීමට පෙර මුලින්ම දැනට PS1 හි අන්තර්ගතය උපස්ථ (backup) කරගැනීම නුවණට හුරුය. ඒ සඳහා $PS1_ori=”$PS1″ ලෙස command ලබාදෙන්න.

Command prompt ඉහත කේත මගින් වෙනස්කළ හැකි ආකාර සඳහා උදාහරණ කිහිපයක් පහත දැක්වේ.

Command prompt වර්ණ ගැන්වීම සඳහා යොදාගත යුතු කේත සහ ඒවාට අනුරූප වර්ණ පහත වගුවේ දැක්වේ. මෙම සියලුම කේත \[\] තුළ දැක්වීය යුතුය.
වර්ණ කේතය | අනුරූප වර්ණය | වර්ණ කේතය | අනුරූප වර්ණය |
---|---|---|---|
\033[0;30m | කළු (black) | \033[1;30m | තද අළු (dark gray) |
\033[0;31m | රතු (red) | \033[1;31m | ලා රතු (light red) |
\033[0;32m | කොළ (green) | \033[1;32m | ලා කොළ (light green) |
\033[0;33m | දුඹුරු (brown) | \033[1;33m | කහ (yellow) |
\033[0;34m | නිල් (blue) | \033[1;34m | ලා නිල් (light blue) |
\033[0;35m | දම් (purple) | \033[1;35m | ලා දම් (light purple) |
\033[0;36m | මොණර නිල (cyan) | \033[1;36m | මොණර ලා නිල (light cyan) |
\033[0;37m | ලා අළු (light gray) | \033[1;37m | සුදු (white) |
විවිධ වර්ණ සමගින් command prompt දිස්වන ආකාරය රූපයේ දැක්වේ. Command prompt හි වර්ණය වෙනස් කල පසු අප ලබාදෙන විධාන (commands) පවා එම වර්ණයෙන්ම දැක්වෙන නිසා prompt හි අවසානයේදී නැවතත් අක්ෂර සඳහා සම්මත වර්ණය පිහිටුවීම කල යුතුය.

Prompt සඳහා පසුබිම් වර්ණ ලබාදීමට පහත වර්ණ කේත යොදාගත හැකිය.
වර්ණ කේතය | අනුරූප පසුබිම් වර්ණය |
---|---|
\033[0;40m | කළු (black) |
\033[0;41m | රතු (red) |
\033[0;42m | කොළ (green) |
\033[0;43m | දුඹුරු (brown) |
\033[0;44m | නිල් (blue) |
\033[0;45m | දම් (purple) |
\033[0;46m | මොණර නිල (cyan) |
\033[0;47m | ලා අළු (light gray) |
පහත දැක්වෙන්නේ පසුබිම් වර්ණයක් යොදා ඇති අවස්ථාවකි.

අවසාන වශයෙන් අප කලින් backup කරගත් prompt හි සම්මත ආකාරය නැවත පිහිටුවීම සඳහා පහත command ලබාදෙන්න.
