find command සමග යොදාගත හැකි තවත් පරීක්ෂාවන් (tests) කිහිපයක් සහ සබඳතා සංකේත (operators) පිලිබඳ අද පාඩමෙන් සොයා බලමු.
සංඛ්‍යාත්මක අගයන් ලබාදෙන tests සමග +/– ලකුණු යෙදීමෙන් පසුගිය ලිපියෙන් සාකච්චා කල පරිදි අඩු හෝ වැඩි වශයෙන් ගැලපීම සිදුකල හැකිය. පහත දැක්වෙන්නේ නිතර භාවිතා වන tests (පරීක්ෂා) කිහිපයකි.
-cmin [+/-]n → මිනිත්තු n ගණනකට වඩා වැඩි(+)/අඩු(-) කාලසීමාව තුළ ගුණාංග (attributes)/අන්තර්ගතය (content) වෙනස්කම් (change/modify) සිදුකල files/directories සෙවීම. (n=1,2,3,..) -cnewer filename → filename මගින් දැක්වෙන file එකෙහි attributes/content වෙනස් කල වෙලාවට වඩා මෑතකදී (recent) වෙනස්කම් සිදුකල files/directories සෙවීම. -ctime n → පැය nx24 ගණනකට පෙර attributes/content හි වෙනස්කම් සිදුකල files/directories සෙවීම. -empty → අන්තර්ගතය හිස් (empty) files/directories සෙවීම. -group group → group මගින් දැක්වෙන සමූහයට (group) අයත් files/directories සෙවීම.* -iname name → capital/simple වෙනස නොතකා (case insensitive) name අනුව files/directories සෙවීම. -mmin n → මිනිත්තු n ගණනකට පෙර content වෙනස්කල (modified) files/directories සෙවීම. -mtime n → පැය nx24 ගණනකට පෙර content වෙනස්කල files/directories සෙවීම. -name name → name අනුව files/directories සෙවීම. -newer filename → filename මගින් දැක්වෙන file එකෙහි content වෙනස් කල වෙලාවට වඩා මෑතකදී (recent) වෙනස්කම් සිදුකල files/directories සෙවීම. -nouser → කිසියම් වලංගු පරිශීලකයෙකුට (valid user) අයත් නොවන files/directories සෙවීම. -nogroup → කිසියම් වලංගු සමූහයකට (valid group) අයත් නොවන files/directories සෙවීම. -perm mode → mode මගින් දැක්වෙන ගොණු අවසරයන් (file permissions) සහිත files/directories සෙවීම.** -user name → name නමින් දැක්වෙන පරිශීලකයාට (user) අයත් files/directories සෙවීම.
* සමූහ නාමය (group name) හෝ එහි නිරූප අගය ඉලක්කම් මගින් (group id) ලබාදිය හැකිය. වැඩිදුර තොරතුරු සඳහා ගොණු ප්රවේශයන් පරිපාලනය – 1 කොටස ලිපිය බලන්න.
** සංකේත (symbols) හෝ ඉලක්කම් ලෙස ලබාදිය හැකිය. වැඩිදුර තොරතුරු සඳහා ගොණු ප්රවේශයන් පරිපාලනය – 2 කොටස ලිපිය බලන්න.
Operators (සබඳතා සංකේත)
find command සමග tests යොදාගැනීමේදී ඒවා අතර තාර්කික සබඳතා (logical relationships) දැක්වීමට operators භාවිතා කරනු ලබයි. මෙමගින් වඩාත් සංකීර්ණ (complex) tests නිර්මාණය කරමින් සෙවීම් සිදුකල හැකිය. වරහන් () යෙදීමෙන් සංකීර්ණ tests අවශ්‍ය ලෙස වෙන් වෙන් සමූහ වලට වෙන්කර operators මගින් logical relationships ගොඩනැගීමට ද පිළිවන. වරහන් දැක්වීමේදී ඒවා විශේෂ වශයෙන් command line වෙත හඳුන්වාදීම සඳහා \ (back-slash) සමග ඇතුළත් කල යුතුය. Operators තුනක් ඇති අතර ඒවා එකින් එක පහතින් විස්තර වේ.
-and හෝ -a ⇒ මෙහි දෙපසින් දක්වා ඇති tests දෙකම සත්‍ය (both sides true) වන විට ගැලපීම සිදු කරයි.* -or හෝ -o ⇒ දෙපසින් දක්වා ඇති tests දෙකින් කිසියම් එකක් (හෝ දෙකම) සත්‍ය (either side true) වන විට ගැලපීම සිදු කරයි. -not හෝ ! ⇒ tests එකෙහි ප්‍රථිපලය සත්‍ය නොවන (false) විට ගැලපීම සිදු කරයි.
* විශේෂ වශයෙන් නොදක්වා tests කිහිපයක් එකවර ඇතිවිට ඒවා සියල්ල -and operator මගින් සම්බන්ධ කරඇති ලෙස සලකනු ලැබේ.
Operators යොදාගන්නා ආකාරය උදාහරණයක් මගින් පහතින් දක්වා ඇත.
find ~ \( -type f -not -perm 0600 \) -or \( -type d -not -perm 0700 \)

සටහන: -and operator හි වම්පසින් ඇති test හි ප්‍රථිපලය සත්‍ය නොවේනම් (false) දකුණු පසින් ඇති test ඇගයීම (evaluate) සිදු නොවන අතර -or operator සමග වම්පසින් ඇති test හි ප්‍රථිපලය සත්‍ය (true) වනවිට දකුණු පසින් ඇති test ඇගයීම (evaluate) සිදු නොවේ.
මීළඟ ලිපියෙන් find command මගින් සොයාගන්නා files/directories සමූහයන් මත විවිධ කාර්යයන් (actions) සිදුකරන ආකාරය සොයා බලමු.