පසුගිය පාඩම ඔබ විසින් හොඳින් අධ්‍යයනය කළේ නම් ගබඩා මාධ්‍යයන් ලෙස භාවිතා කරන විවිධ උපාංග (devices) නම් කර ඇති ආකාරය පිලිබඳ කිසියම් කුතුහලයක් ඇතුවාට සැකයක් නැහැ. Windows මෙහෙයුම් පද්ධතිය මෙන් devices නිරුපණයට ඉංග්‍රීසි අකුරු යොදාගැනීමක් මෙහිදී සිදු නොවේ. Linux තුළ devices නම් කර ඇති ආකාරය බලාගැනීමට /dev නාමාවලිය (directory) ලැයිස්තුගත කිරීම කල හැකිය. (ls /dev)
සටහන: මෙහි කහපාටින් devices දැක්වෙන අතර දීප්තිමත් නිල් පැහැයෙන් symbolic links දැක්වේ. (Symbolic links පිලිබඳ දැනගැනීමට ‘දෘඩ සහ මෘදු සබැඳි පිලිබඳ ගැඹුරින්’ ලිපිය බලන්න.)

ඉහත ලැයිස්තුව තරමක් දිගු සහ සංකීර්ණ ලෙස පෙනුණත් එය තේරුම් ගැනීමට ඉතා පහසුය. මින් බොහොමයක් devices සත්‍ය ලෙස පරිගණකයට සම්බන්ධ කර නොතිබෙන්නට පුළුවන්. නමුත් Linux ගොණු පද්ධතිය (file system) තුළ පරිගණකයට සම්බන්ධ කල හැකි සියළුම devices නිරූපණය කර තිබේ. මේ නිසා ගතිකව (dynamic) ඉංග්‍රීසි අකුරු යොදාගැනීමේ අවශ්‍යතාවයක් පැන නොනගී. දැන් අපි ඒ ලැයිස්තුවෙන් නිතර වැදගත් වන devices පිලිබඳ දැනගනිමු. පහත වගුව මගින් දැක්වෙන්නේ එම තොරතුරුයි.
උපාංගය (Device) | විස්තරය (Description) |
/dev/fd* | Floppy disks (වර්තමානයේ භාවිතා නොවේ). |
/dev/hd* | IDE දෘඩ තැටි (hard disks) |
/dev/sd* | SATA දෘඩ තැටි (hard disks) සහ pen drives |
/dev/lp* | මුද්‍රණ යන්ත්‍ර (printers) |
/dev/sr* | CD/DVD devices |
මෙහිදී sda, sdb, sdc ලෙස hard disk නිරූපණය වන අතර sda1, sda2, … ආකාරයට බෙදුම් අංක (partition numbers) දැක්වේ.
නව ගොණු පද්ධතියක් (file system) නිර්මාණය කිරීම
ගබඩා මාධ්‍යයන් (storage media) සමග කටයුතු කිරීමේදී ඒවායේ අලුතින් file systems නිර්මාණය කිරීමට සිදුවේ. Linux මෙහෙයුම් පද්ධතිය file systems විශාල සංඛ්‍යාවකට සහයෝගය දක්වන නිසා (Windows/Mac OS ද ඇතුළුව) ඕනෑම file system එකක් නිර්මාණය කිරීමේ හැකියාව පවතී. අවශ්‍ය නම් file system නිර්මාණයට පෙර partition කිරීමට ද පිළිවන. අලුතින් partitions නිර්මාණයට fdisk (format disk) විධානය (command) යොදාගනී. මෙම විධානය ලබාදීමට පෙර අදාළ device එක unmount කිරීම කල යුතුය. umount සහ fdisk commands සඳහා පරිපාලක ගිණුමේ මුරපදය (root password) ලබාදීමට සිදුවේ.
සටහන: fdisk command අත්හදා බැලීමේදී අත්‍යාවශ්‍ය files අඩංගු නොවන pen drive එකක් යොදාගන්න. Hard disk සමග මෙය යොදාගැනීමෙන් ඔබේ වටිනා files අහිමි වී යා හැකිය.

අනතුරුව device name සමග (partition numbers නොමැතිව) fdisk command ලබාදෙන්න. උපකාර (help) ලබාගැනීම සඳහා m අකුර type කර ↵ යතුර ඔබන්න. එවිට කාර්යයන් (actions) ලැයිස්තුවක් ඒවා ක්‍රියාත්මක කිරීමට ලබාදිය යුතු අකුර (letter) සමග දැක්වේ. (බහුල ව යොදාගන්නා actions කිහිපයක් ඊතල මගින් දක්වා ඇත.)

Partitions පිලිබඳ වැඩිදුර තොරතුරු බලාගැනීමට p ඇතුළත් කරන්න.

fdisk මගින් නිර්මාණය කළහැකි partitions මාදිලි (types) දැනගැනීමට l ලබාදෙන්න.

අත්හදා බැලීමක් ලෙස partition type එක Linux වලට මාරුකිරීමට උත්සාහ කර ඇත. නමුත් අවසන් පියවරේදී සිදුකළ වෙනස්කම් සුරක්ෂිත (save) නොකර ඉවත්වීමෙන් pen drive හි කිසිදු වෙනස්කමක් සිදු නොවේ.

නව partitions නිර්මාණය කළ පසු ඒවාට file systems හඳුන්වාදීම අවශ්‍ය වේ. මේ සඳහා mkfs (make file system) command යොදාගනී. mkfs command හි රීතිය පහත පරිදි වේ. (මෙහිදී ද root password ලබාදීම කළ යුතුය.)
sudo mkfs -t <file_system> <disk_partition> file systems: MSDOS, SCO bfs, CPM, ext2, ext3, ext4, minix, fat (vfat), HFS, VXFS, RF disk, RK disk, DECtape, NTFS
උදාහරණයක් ලෙස අප යොදාගත් pen drive එකේ FAT32 ලෙස file system නිර්මාණය කිරීමට පහත දැක්වෙන පරිදි mkfs command ලබාදිය හැකිය.
sudo mkfs -t vfat /dev/sdd1