ආරම්භයේ සිටම ජාලකරණය (networking) මූලික කරගෙන නිර්මාණය වූ Linux හි, ඒ හා සම්බන්ධ මෙවලම් (tools) විශාල ප්‍රමාණයක් අඩංගු කර ඇත. මේ නිසා ලොව පුරා අංක එකේ ජාලකරණ මෙහෙයුම් පද්ධතිය (operating system) ලෙස Linux (හා එහි මූලාරම්භය වන Unix) ජනප්‍රිය වී තිබේ. ඉදිරි ලිපි කිහිපය වෙන්වන්නේ Linux හි අඩංගු වන මෙම ජාලකරණ මෙවලම් අතරින් බහුලව භාවිතා වන ඒවා කිහිපයක් පිලිබඳ සොයා බැලීමටයි. කෙසේ වෙතත් ඉදිරි ලිපි කිහිපය තේරුම් ගැනීමට ඔබට පරිගණක ජාලකරණය (computer networking) පිලිබඳ මූලික දැනීමක් තිබීම අත්‍යාවශ්‍ය වේ. අප මෙතෙක් සාකච්චා කල පරිදිම මෙම tools විධාන පෙළ (command line) හරහා කියාත්මක කිරීමට පිළිවන.
ping
කිසියම් පරිගණකයක් ජාලය හා සම්බන්ධ වී (connected) ඇත්දැයි බලාගැනීමට යොදාගත හැකි මූලික command එකයි. මෙමගින් IMCP ECHO_REQUEST ලෙස හැඳින්වෙන දත්ත පැකට්ටුවක් (data packet) අප ලබාදෙන පරිගණකය වෙත යවා එමගින් නැවත හරවා එවීමට සැලැස්වීම මගින් වැදගත් කරණු කිහිපයක් දැනගත හැකිය.
1. අප යවන data packets ආපසු අපවෙත නොලැබේනම් බොහෝදුරට එම පරිගණකය network එකට සම්බන්ධ නොවී ඇතිබව තහවුරු කරගත හැකිය.
2. Data packet එකක් ගමනාන්තය (destination) වෙත ගොස් අපවෙත ලැබීමට ගතවන කාලය සටහන් වන නිසා ජාලයේ වේගය (network speed) පිලිබඳ අදහසක් ලබාගත හැකිය.
3. Data packets කිහිපයක් destination වෙත යවා ඉන් අපවෙත නැවත ලැබෙන packets ප්‍රමාණය සටහන් කරගැනීමෙන් ජාලය තුළ data packets අතරමගදී හැලීයාමක් (drop) සිදුවේදැයි සොයාබැලීමට පිළිවන. මෙය network එකෙහි ගුණාත්මය (quality) පිලිබඳ මිණුම් දණ්ඩකි.
ping command යොදාගෙන ඇති ආකාරය පහත දැක්වේ. Command එකෙන් ඉවත්වීම සඳහා Ctrl + C ඔබන්න.

ping command යොදාගෙන පරිගණකයේ ජාලකරණ පතෙහි (network card) දෝෂයක් (error) තිබේදැයි බැලීමට හැකිය. ඒ සඳහා පහත පරිදි command ලබාදෙන්න.
ping 127.0.0.1 හෝ ping localhost
සටහන: ආරක්ෂක හේතු මත සමහර පරිගණක ping command සඳහා ප්‍රතිචාර නොදක්වන ලෙසට සකස්කර තිබිය හැක. එවැනි අවස්ථාවක අප යවන data packets නැවත නොලැබෙන නිසා එම පරිගණකය ජාලයෙන් විසන්ධි වී ඇති ලෙස වැරදි නිගමනයක් ඇතිවේ.
traceroute
ආයතනික සරල පරිගණක ජාල හැර විශාල පරිමාණයේ ජාල හරහා (internet වැනි) පරිගණක දෙකක් අතර දත්ත හුවමාරු කරගැනීමේදී කෙලින්ම එම පරිගණක දෙක සම්බන්ධ වී නැති නිසා විවිධ ජාලකරණ උපාංග (devices) හරහා data packets සංසරණය වීම සිදුවේ. කිසියම් data packet එකක් destination වෙත ලඟාවීමට යොදාගන්නා පෙත (path) බලාගැනීමට මෙම command එක යොදාගත හැකිය. traceroute හි ප්‍රතිදානය (output) මගින් එය ගමන්ගත් මාර්ගයේ ඇති සියලුම network device පෙන්වනු ලබයි. Command ලබාදිය යුතු ආකාරය සහ එහි ප්‍රථිපල පහත දැක්වේ. (* ලෙස දැක්වෙන devices තම හඳුනාගැනීමේ තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත.)
සටහන: Linux හි මෙම මෙවලම සම්මත පිහිටුවිමකදී (standard installation) ඇතුළත් නොවී තිබිය හැක. Debian පාදක වී ඇති Linux මෙහෙයුම් පද්ධතියක (Ubuntu/Linux Mint) එවැනි විටෙක පණිවුඩයක් මගින් අදාළ මෙවලම පිහිටුවිය (install) හැකි ආකාරය දක්වනු ලබයි. Command line හරහා මෘදුකාංග පිහිටුවන ආකාරය විස්තර සහිතව “විධාන පෙළ හරහා මෘදුකාංග කළමනාකරණය” ලිපියේ පළවිය.

අන්තර්ජාලය (internet) වැනි මහා පරිමාණයේ පරිගණක ජාල වල data packets එකකට එකක් වෙනස් පෙත් අනුගමනය කරන නිසා ඉහත තොරතුරු සැමවිටම එකිනෙකට වෙනස් ලෙස පෙන්වීමට ඉඩ ඇත.