netstat
පරිගණක ජාලය (network) හා සම්බන්ධ විවිධ තොරතුරු සහ සැකසුම් (settings) බලාගැනීමට යොදාගත හැකිය. පරිගණකයේ ජාලකරණ පතෙහි (network card) තොරතුරු බලාගැනීම සඳහා -ie විකල්ප (option) ලබාදෙන්න.

ඉහත උදාහරණයෙහි eno0 (ethernet 0) සහ lo (loopback) ලෙස ජාලකරණ අතුරුමුහුණත් (network interfaces) දෙකක තොරතුරු දැක්වේ. මින් lo මගින් දැක්වෙන අතුරුමුහුණත භෞතිකව (physically) නොපවතින අතර පරිගණක ජාල හරහා ක්‍රියාත්මක වන සේවාදායක පරිගණක මෘදුකාංග, තනි පරිගණකයක ක්‍රියාත්මක කරබැලිමට උපකාරී වන්නේ මෙයයි. තවද flags යටතේ UP/RUNNING ලෙස දැක්වේනම් එම network card සහ එහි සබඳතාව නිවැරදිව ක්‍රියාත්මක වන බව තහවුරු වේ.
පරිගණකය මගින් එය සම්බන්ධ වී ඇති පරිගණක ජාලයට දත්ත පැකට්ටු මුදාහැරීමේ මාර්ගයන් (network routing) පිලිබඳ තොරතුරු netstat -r විධානය (command) මගින් බලාගත හැකිය. එය වගුවක් (table) ලෙස දැක්වේ.

මීලඟට අපි පරිගණක ජාලයක් හරහා පරිගණක ගොණු (files) යැවීම (send) සහ ගෙන්වාගැනීම (receive) සඳහා යොදාගන්නා commands කිහිපයක් පිලිබඳ සොයා බලමු.
ftp (file transfer protocol)
අන්තර්ජාලය (internet) හෝ වෙනත් ජාලයක ඇති පරිගණකයකට සම්බන්ධ වී ගොණු (files) හුවමාරු කරගැනීම සඳහා ftp විධානය (command) යොදාගත හැකිය. මෙය ආරක්ෂාකාරී බවින් අඩු නිසා බොහෝවිට ඕනෑම කෙනෙකුට පොදුවේ පිවිසීමට අවසර ඇති ගොණු පමණක් ftp මගින් හුවමාරු කිරීමට ඉඩ ලබාදීමට පිළිවන. තවද නිර්නාමිකව (anonymous) අදාළ පරිගණකය වෙත සම්බන්ධ වී files භාගත (download) කිරීමේ හැකියාව ඇත. ftp හරහා වෙනත් පරිගණකයකට සම්බන්ධ වූ පසු අප පෙර පාඩම් වලදී හඳුන්වාදුන් ගොණු පද්ධතිය තුළ සැරිසැරීමට යොදාගන්නා commands යොදාගෙන නාමාවලි (directories) අතර මාරුවීම කල හැකිය. මෙහිදී එම පරිගණකය මගින් අවසර ලබාදී ඇති directories තුළට පමණක් ප්‍රවේශ (access) වීමට ඉඩ ලබාදේ. අනෙක් පරිගණකයේ ඇති files ඔබේ පරිගණකයට පිටපත් (copy) කරගැනීමට get command ද, ඔබේ පරිගණකයේ ඇති files එයට පිටපත් කිරීමට (එම පරිගණකය මගින් අවසර ලබාදී ඇත්නම්) put command ද යොදාගනී. get/put commands දැනට සිටින directory එකට සාපේක්ෂව ක්‍රියාත්මක වන නිසා commands ලබාදීමට පෙර අදාළ directory වෙත පිවිස සිටීමට මතක තබාගන්න. ftp තළින් ඉවත්වීමට bye ලෙස type කරන්න. ftp යොදාගන්නා ආකාරය පහත උදාහරණයේ දැක්වේ.

සටහන: බොහෝ පරිගණක ftp හරහා එහි files වලට පිවිසීම වලක්වා ඇති නිසා සෑම අවස්ථාවකම ftp යොදාගැනීම කල නොහැකිය.
wget
ftp වෙනුවට යොදාගත හැකි අතර අමතර විශේෂාංග ගණනාවකින් යුක්ත වේ. files එකකට වඩා වැඩි ගණනක් මෙන්ම සම්පුර්ණ වෙබ් අඩවියක්ම වුවත් මේ හරහා download කිරීමට පුළුවන්. options විශාල ප්‍රමාණයක් ඇති නිසා ඔබේ අවශ්‍යතාවට ගැළපෙන පරිදි යොදාගැනීමට හැකියාව තිබේ. wget පිලිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට man wget හෝ info wget ලෙස ලබාදෙන්න.

මීළඟ ලිපියෙන් වඩාත් ආරක්ෂාකාරී ලෙස වෙනත් පරිගණක සමග සම්බන්ධවන ආකාරය සොයා බලමු.