41 – Linux මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාකාරී මට්ටම් (run levels) (1 කොටස)

Linux යනු පරිගණක ජාලකරණය (computer networking) සඳහා වූ මෙහෙයුම් පද්ධතියක් (operating system – OS) නිසා, මෙහෙයුම් පද්ධතියේ නඩත්තුව (maintenance) සහ වෙනත් යාවත්කාලීන (update) කට‍යුතු සිදු කිරීමේදී ජාලයේ අනෙක් පරිශීලකයන් (users) පරිගණකයට සම්බන්ධවීම සීමා කරනු ලබයි. එමෙන්ම සේවාදායක පරිගණක (servers) බොහෝදුරට රූපක අතුරු මුහුණත (Graphical User Interface – GUI) නොමැතිව භාවිතා කරනු දක්නට ලැබේ. මෙවැනි හැකියාවන් Linux මෙහෙයුම් පද්ධතියට ලබාදෙන්නේ එහි ඇති ක්‍රියාකාරී මට්ටම් (run levels) හරහා ය.

Run level යනු Linux OS පණගැන්විය (boot) හැකි ආකාරයකි (mode).  එක් එක් run levels වලදී OS මගින් ලැබෙන සේවාවන් (available services) වෙනස්වේ. Linux හි run levels 7ක් හඳුනාගත හැකි අතර ඒවා 0 සිට 6 දක්වා වන ඉලක්කම් වලින් නිරූපණය වේ. කිසියම් run level එකකදී ලබාගත හැකි සේවාවන්, භාවිතා වන Linux නිකුතුව (distro) අනුව තරමක් වෙනස්විය හැකිය. පහත වගුව මගින් run levels වල සාරාංශයක් දැක්වේ.

ක්‍රියාකාරී මට්ටම විස්තරය
0 (Halt) පරිගණකය වසා දැමීම (shutdown) සිදුවේ.
1 (Single-user mode) තනි පරිශීලක ප්‍රකාරයයි. පරිපාලක ගිණුමට (administrator account) පමණක් ඇතුළුවිය හැකිය. වෙනත් පරිශීලකයන්ට තම ගිණුම්වලට ඇතුළුවිය නොහැකිය. ජාලගත සේවාවන් ලබානොදේ (no networking).
2 (Multi-user mode) ජාලකරණ හැකියාවන් ලබා නොදෙන අතර terminal හරහා පමණක් පරිශීලකයන්ට පරිගණකය හා සම්බන්ධ වීමට පිළිවන.
3 (Multi-user mode with networking) ජාලය හරහා පරිශීලකයන්ට පරිගණකය හා සම්බන්ධ වීමට පිළිවන. එහෙත් මෙම අවස්ථාවේදී GUI හැකියාවන් නොමැත. බොහෝ servers මෙම run level හි භාවිතා කරනු ලබයි.
4 (Unused) වර්තමානයේ භාවිතා නොවේ.
5 (GUI mode) Level 3 වල සේවාවන්ට අමතර ව GUI පහසුකම ලබාදේ.
6 (Reboot) ප්‍රති-පණගැන්වීම.

Linux හි run level වෙනස් කිරීමට පරිපාලක ගිණුමේ මුරපදය (password) අවශ්‍ය වේ. ඉහත run levels වලට අමතරව අලුතින් ඒවා නිර්මාණය කිරීමට ද හැකිය.

init Process (ආරම්භක ක්‍රියාවලිය)

Linux මෙහෙයුම් පද්ධතිය boot වීමේදී මුලින්ම ආරම්භ වන ක්‍රියාවලිය init process ලෙස හඳුන්වයි. එයට PID (process id) අංක 1 පැවරේ. මෙහෙයුම් පද්ධතියේ හි අනෙකුත් processes ඇරඹීම සිදුකරනු ලබන්නේ init process මගින් වන අතර එය පසුබිමින් ක්‍රියාත්මක වෙමින් (background/daemon process) අවශ්‍ය කටයුතු සිදුකරයි. Run levels වෙනස් කිරීමටද init process උපකාරී වේ.

සටහන: Process පිලිබඳ වැඩිදුර තොරතුරු “Linux හි ක්‍රියාවලීන් කළමනාකරණය (process management) 1, 2, 3, 4” ලිපි පෙළෙහි අඩංගු වේ.

Run levels වෙනස් කිරීමට telinit විධානය (command) යොදාගනී. මේ සඳහා administrator account/password අවශ්‍ය වේ. Command ලබාදෙන රීතිය (syntax) පහත දැක්වේ.

telinit <runlevel-number>

ඇතැම් Linux නිකුතු (distros) වල init command ද telinit හා සමාන ව යොදාගත හැකිය.

init <runelvel-number>

බොහෝවිට telinit/init වෙනුවට අන්වර්ථ විධාන (alias commands) යොදාගනිමින් ඉහත කාර්යයන් සිදුකල හැකිය.

උදා: shutdown, reboot, halt

දැනට ක්‍රියාත්මක වන run level එක බලාගැනීමට පහත command ලබාදෙන්න.

who -r

Network සහ server භාවිතා වන Linux OS හි run levels වෙනස් කිරීමේදී අනුගමනය කලයුතු නිවැරදි ක්‍රියාපටිපාටිය සහ run level වල වැඩිදුර තොරතුරු ඉදිරි ලිපිවලින් සොයා බලමු.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )