Linux – සිංහල ගැන

ලොව පුරා ඉතා ජනප්‍රිය Linux මෙහෙයුම් පද්ධතිය පිලිබඳ සිංහලෙන් දැනුම ලබාගත හැකි අවස්ථා ඉතා විරළ බැවින් මෙම ලිපි පෙළේ පරමාර්ථය වන්නේ ඊට අදාළ දැනුම සිංහලෙන් ලබා දීමයි. මෙහිදී මුල සිට සරළ ව ආධුනිකයන්ට වුවද ඉතා පහසුවෙන් තේරුම් ගතහැකි වන පරිදි ලිපි සකස් කිරීමට උත්සාහ දරා ඇත. ඔබ සතුව පරිගණක භාවිතය පිලිබඳ මූලික දැනුමක් ඇත්නම් ලිපි අන්තර්ගතය අවබෝධ කර ගැනීමට ඉතා පහසු ය.

Linux මෙහෙයුම් පද්ධතියෙහි සුවිශේෂත්වය වන්නේ එය නොමිළේ ලබාගත හැකිවීමට අමතර ව අතිරේක මෘදුකාංග රාශියක් අන්තර්ගත වී තිබීමයි. මේවා ඉතා උසස් තත්ත්වයෙන් නිර්මාණය කර තිබෙන අතර ම ඉතා ජනප්‍රිය Windows මෙහෙයුම් පද්ධතියේ භාවිතා වන වාණිජමය මෘදුකාංග සමගින් හොඳ තරඟයක් ලබාදේ. වාණිජමය මෘදුකාංග මිලදී ගැනීමේදී (දෘඩාංග – hardware ද ඇතුළුව) ඉතා විශාල මුදල් ප්‍රමාණයක් විදෙස් රටවලට ඇදී යයි. නමුත් අප Linux මෙහෙයුම් පද්ධතියට හුරු වුවහොත් මින් විශාල මුදල් ප්‍රමාණයක් අප රටේ ම ඉතිරි කරගත හැකිය.

අප රට තොරතුරු තාක්ෂණය අතින් හිණි පෙත්තට ගෙනයාමේ ප්‍රධාන බාධකය වී ඇත්තේ ක්‍රමවත් පරිගණක දැනුමක් සහිත වෘත්තිකයන්ගේ (professionals) හිඟයක් තිබීමයි. මෙහිදී ඉංග්‍රීසි භාෂා දැනුමේ මඳකම නිසා මෙම ක්‍ෂේත්‍රයට පිසිවිසිමට නොහැකි වන පිරිසක් සිටීම කණගාටුවට කරුණකි. මෙම ලිපි පෙළ සිංහලෙන් සැකසීමෙන් එවැනි අයට ඉංග්‍රීසි භාෂාව බාධාවක් කර නොගෙන අවශ්‍ය දැනුම ලබාගැනීමට අවස්ථාව සලසා දීම ප්‍රධාන අරමුණක් විය.

මෙම ලිපි පෙළ ආධුනිකයන්ගේ සිට පරිගණක වෘත්තිකයන් දක්වා සියලු ම පරාස ආවරණය වන පරිදි සැකසේ. අවශ්‍ය තැන්හිදී පරිගණක තාක්ෂණය (Computer technology) සහ පරිගණක විද්‍යාව (Computer science) පිලිබඳ පසුබිම් තොරතුරු ද සාකච්චා කරනු ලැබේ. Windows මෙහෙයුම් පද්ධතියේ සිට Linux වෙත පිවිසෙන අයට මෙහෙයුම් පද්ධති දෙක අතර පවතින වෙනස්කම් සහ විකල්ප මෘදුකාංග භාවිතය පිලිබඳ මග පෙන්විම්ක් ද ලිපි තුළ අන්තර්ගත කර ඇත. මුල් ලිපි කිහිපය ආධුනිකයන් ඉලක්ක කර සැකසෙන අතර වඩාත් සංකීර්ණ මාතෘකා (advanced topics) පසු ලිපි වලින් සාකච්චා කෙරේ. ඒවා බොහෝ දුරට පරිගණක වෘත්තිකයන්ට සහ ඒ සඳහා පිවිසෙන්නන්ට අත්වැලක් වනු ඇත.

සංස්කාරක,
Linux-සිංහල.